තමන් අතැති එකම ආයුධය අඬු මිටියක් වූ විට, එම තැනැත්තා සෑම ප්‍රශ්ණයක්ම දකින්නේ ඇණයක් ලෙසටය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වර්තමාන රජය සතුව ඇත්තේත් එවැනි හණමිටිධාරී අඬුමිටියක් පමණක් අතැති උපදේශකයින් බව යැයි දැන් පැහැදිලිය. අඬු මිටියකින් කල හැක්කේ එක්කො ඇණය කරවටටම ගිල්වා බැස්සීම හෝ නැත්තම් මුලින්ම උඟුලා දැමීමය. විකල්ප අදහසක්, නිර්මාණශීලී වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට සමත් නායකයා එකම ආයුධයකට පමණක් කොටු නොවේ, ආයුධ කිහිපයකින් ශිල්පීන් කිහිපදෙනෙක් ගෙන් වැඩ කිහිපයක් අත්හදා නිවැරදි දේ තෝරා බේරා ක්‍රියාවේ යෙදීමට මූලිකත්වය ගනී.
කොළඹ නගරයේ පෞරාණික වටිනාකම් සහිත ඓතිහාසික ගොඩනැඟිලි සහ භූමි කොටස් ඇණ හැටියට දකිණ ආර්ථික ආයෝජක උපදේශක රැලක් කඬිමුඩියේ අටවාගත් සෙලන්දිවා සමාගම් සමූහයක් මගින් මෙම දේපල අත්පත් කර ගැනීමට දරණ වෑයමක් මෙම කොරෝණා වෛරස අර්බුද අස්සේ කරළියට ඇවිත් තිබේ.මෙම ආර්ථික උපදේශකයින්ට කොළඹ නගරයේ පවතින මෙම ඓථිහාසික ගොඩනැඟිලි වලින් රජයට අදායමක් ලබාගැනීමට කලහැක්කේ පෞද්ගලික සමාගම් මගින් පමණක් යන යල්පිණූ මතයේ සිටිති. ඔවුන්ට පවතින ලෝක තත්වයන් අතරින්, විශේෂයින්ම මෙම කෝවිඩ් වසංගත තත්වයන් වලින් පසු විවධ රටවල ආර්ථිකයන් ප්‍රසාරණය වන ආකාරය ගැන අවබෝධයකින් තොරව, මවාගත් සිහින ලෝකවල මුල්බැසගෙන තීන්දු තීරණ ගනිති.
සෙලන්දිවා සමාගමට හුදු දේපල වත්කම් පැවරීමෙන් දෙස් විදෙස් ආයෝජන සහ ප්‍රාග්ධණය, ව්‍යවසායකත්වයන් ඉබේම ගලා එනු ඇතැයි ඔවුන් අනුමාණ කරති. එසේත් නොමැති නම් සමාගම් වල රාජ්‍ය පාක්ෂික අධ්‍යක්ෂක මණ්ඩලයන් තුලින් මෙම වටිණා දේපල අත්පත් කරගැනීමේ කූට උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරමින් ජනතාවට කොලේ වසා, රජයට සමීප ගජමිතුරු කල්ලියට කරල පැසෙන්නට ඉඩකඩ සලස්වා ඔවුනගේ සෞභාග්‍ය තහවුරු කිරීමට පිඹුරු පත් සකස් කරමින් සිටිති. වර්තමානයේ ශ්‍රී ලාංකේය අධිකරණයේ විශ්වණියත්වය පිළිබද විවේඡන ගැන සැලකිලිමත් විදේශ ආයෝජකයින් තම ආයෝජණ ගෙන ඒමට දෙවරක් සිතන බව නම් අප සියළු දෙනාම හොදින් වටහා ගත යුතු අවාසනාවන්ත තත්වයකි.
සෙස්සන් පරයා පුස්සන් බලගන්වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම බොහෝ රටවලට අත්විදීමට සිදුව ඇති ඉරණමකි. පැහැදිලි දර්ශනයක් සහිත යම් උපායමාර්ගික වැඩපිලිවෙලක් ඉදිරිපත් කොට තම රටවල් මුහුණදී ඇති ආර්ථික, සමාජීය සහ දේශපාලන ගැටළු විසදාගත හැකි ක්‍රියාපිලිවෙලකට නායකත්වය දිය හැකි පාලන තන්ත්‍රයක් තෝරාපත් කරගැනීම වෙනුවට ඡන්ද දායකයින් නොමඟ හැර හුදු ජාතික-ජනප්‍රියත්වය තුලින් පත්වූ රජයන් කටයුතු කරන ආකාරය ගැන උපේක්ෂාවෙන් බලා සිටිනවා වෙනුවට වෙන කලයුතු දෙයක් නොමැත. එහෙත් කෛරාටිකව බලයට පත්වන්නන් සතු පාලන බලය ඔවුන් බලයට පත්කරන ජන බලවේගයන්ගෙන් සොච්චමක් බව මතක් කරමින් අදහස් කිහිපයක් සටහන් කිරීමට මෙම ලිපිය යොදා ගන්නෙමි.
කෝවිඩ් වසංගත තත්වයෙන් නොයෙකුත් සංචරණ සීමාවන්ට හසුව ඇති පාරිබෝගිකයින් තම දෛනික අවශ්‍යතාවයන් ඉටුකර ගනුයේ අන්තර්ජාල සහ ජංගම දුරකථන ඔස්සේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන E-Commerce නොහොත් සංඛත වාණිජමය කටයුතු හරහාය. චීනයේ, ඉන්දියාවේ, ඉන්දුනීසීයාවේ මෙම කර්මාන්තයේ ව්‍යාප්තිය අදහා ගැනීමට නොහැක. මෙකී ප්‍රසාරණයට සමගාමීව බැංකු, මූල්‍ය සහ සෙසු සේවා අංශයන් තුල විප්ලවීය වෙනසක් සිදුවෙමින් පවතින බවට ශ්‍රී ලාංකීය ප්‍රතිපත්ති සැළසුම් කරන්නන්ගේ අවධානයට ලක්විය යුතුව ඇත. ඒ අනුව කාලීන ආයෝජණ දිරිගන්වන තීරණ ගනු විනා, යල්පැනගිය වැඩපිලිවලට සිරවීම හුදෙක් සමාන වනුයේ, වත්ත බද්දට දී ඇස්සට දත නියවන ආප්තෝපදේෂයටය.
මෙම තත්වය පැහැදිලි කරවීමට ඉන්දුනීසියාවේ මහා බැංකුව විසින් ප්‍රකාශ කර ඇති දත්ත කිහිපයක් පහතින් සදහන් කරමි. (Source: OJK Financial Services Authority Indonesia)
ඉහත සඳහන් දත්තයන් ශ්‍රී ලංකාවටද අදාල කරගත හැක. සමහර විශේෂඥයින් නම් ඉන්දුනීසියාවේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ කියා ලිස්සා යාහැක. යතාර්ථයට මුහුණ නොදුන්නොත් ඊළඟ අතමාරුවට යායුතුව ඇත්තේ මාලදිවයිනටය.
මෙම තාක්ෂණික පරිනාමයන් තුල සාම්ප්‍රදායික බැංකු, මූල්‍ය, තැපැල් සහ ආශ්‍රිත සේවාවන් සීඝ්‍රයෙන් වෙනස්වන නිසා මෙකී ආයතන වල ආදායම් සහ ලාභදායි තාව රැක ගැනීමට සිය සේවාවන් නව ක්ෂේත්‍ර වලට ව්‍යාප්ත නොකලහොත් සිදුවන්නේ ඩයිනෝසරස්ට සිදුවූ ඉරණමය. ඉන් පළමු අභියෝගය වන්නේ සේවක අතිරික්තයට මුහුණ දීමය. සාම්ප්‍රදායික බැංකු සේවාවන් තරඟකාරීව සහ පහසුවෙන් සපයා දීමට අළුත් නිර්මාණශීලී ව්‍යාපාර, අන්තර්ජාලය සහ ජංගම දුරකථන සේවා කාර්යක්ෂමව භාවිතා කරති. ඉන්දුනීසීයාව සහ සිංගප්පූරුව දැනටමත් ඩිජිටල් බැංකු ආරම්භ කිරීමට බලපත්‍ර ලබා දී ඇත, ඔවුන් සිය ගනුදෙනු කරනුයේ අන්තර්ජාල සහ ජංගම දුරකථන ජාලයන් ඔස්සේය. ඩිජිටල් බැංකු කාර්යාල ශාඛා ජාල පවත්වාගෙන යන්නේ නැත. කෝවිඩ් වසංගතය නිසා අඩපණ වූ සුළු මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයින්ට සහ මහජන සහනාධාර වලින් නඩත්තුවන ජනතාවට ඉන්දුනීසීයානු රජය සෘජු මූල්‍ය සහනාධාර ක්ෂණිකව බෙදාහැරියේ ජංගම දුරකථන පද්ධතිය හරහා නව FINTECH ව්‍යාපාර සම්බන්ධ කර ගනිමිනි. මේ කටයුතු වලට බැංකු පද්ධතිය සම්බන්ධ කර නොගත්හ.
සීඝ්‍රයෙන් ව්‍යාපත්වන ඩිජිටල් තාක්ෂණය බැංකු කර්මාන්තයේ අනාගතයට දැඬි බලපෑම් එල්ල කර ඇත. වාණිජ බැංකුවල අතීත සාර්ථකත්වයන් අනාගතයේ ඒ අයුරින්ම ප්‍රති නිර්මාණය නොවන බවට ඉඳුරාම සටහන් කල හැක. අධික ණය පදනම මත ක්‍රියාක්මක වන භාණ්ඩ සහ වෙළද හුවමාරු සහ විණිමය පද්ධතියන් ගේ පැවැත්ම අවදානම් තත්වයන්ට පැමිණ ඇත. අන්තර්ජාලය හා සමාන සියළුම වාණිජ කටයුතු විනිවිද බාවයකින් පවත්වාගෙන යා හැකි BLOCKCHAIN තාක්ෂණය දැන් අත්හදා බැලීම් වලට නොයෙක් රටවල කෙරෙන අතර, මෙම තාක්ෂණයට අනුගත ඩිජිටල් විණිමය ඒකක BITCOINS යනුවෙන් දැන් හුවමාරු වන අතර වර්තමානයේ අර්බුද රැසකට මුහුණ දෙන ගෝලීය මුල්‍ය පද්ධතියට එය කදිම විකල්ප විසදුමක් වනු ඇත. මෙකී තාක්ෂණික සොයා ගැනීම් බැංකු පද්ධතියට පමණක් නොව ව්‍යාපාර වස්තු, කොටස් වෙළදපල වලටද දැඩි තර්ජණ එල්ල කරනු ඇත. දැනට Blockchain තාක්ෂණය මෙහෙයවන ඩිජිටල් විණිමය ඒකක Stable coins (Cryptocurrencies) කිහිපයක් පාඨකයින්ගේ දැනගැනීම පිණිස පහතින් දක්වා ඇත්තෙමි.
කෝවිඩ් වසංගත තත්වය මානව ශිෂ්ඨාචාරයේ සුවිශේෂ හැරවුම් ලක්ෂයන් මතු කරණුයේ, සියළුම සේවාශ්‍රිත ව්‍යාපාරවලට අභියෝග රැසක් ගෙන එමින්ය. මෙම සේවා ස්ථානවල ඇතිවිය හැකි සේවක අතිරික්තයන් කල් ඇතුව හඳුනා, සේවක සේවිකාවන්ගේ රැකියාහිමිත්වය තහවුරු කරගැනීමට සම්ප්‍රදායක සේවාවන් නවීකරණය කොට ගණුදෙනුකරුවන්ට නව පහසුකම් අත්විදීමට වෘත්තීය සමිති පාලකයින් සමඟ එක්ව කටයුතු කිරීමට වගබලා ගතයුතුය.
තත්වයන් ඉහත සදහන් ආකාරයට වෙනස් වෙද්දී ශ්‍රී ලංකාවේ බැංකු තමන් සතු දේපල වලින් උපරිම ආදායම් ලබාගනු වස් ඩිජිටල් වාණිජ කරනයට කල්තියාම අනුගත වීම නුවණට හුරුය. E Commerce කටයුතු වලට භාණ්ඩ හුවමාරු කිරීමට අවශ්‍ය Logistic පහසුකම් සැපයීමට කොළඹ නගරයේ වරාය ආශ්‍රිත විශාල ගොඩනැඟිලි වලට අවශ්‍ය නවීණ තාක්ෂණික සේවාවන් සපයා එම කටයුතු වල නිරත ව්‍යාපාරිකයින්ගෙන් සෘජු ආදායම් කුලී හෝ බඳු පදනමකින් උපයා ගත හැක. ලංකා බැංකුව සතු යෝර්ක් ගොඩනැඟිල්ල, කොටුවෙි ගෆූර් ගොඩනැඟිල්ල, මහා තැපැල් කාර්යාලය වැනි විශාල ගොඩනැගිලි සංකීර්ණ රාජ්‍ය අයිතියට තබා ගනිමින් තම දේපල වලින් උපරිම ආදායම් ලබාගත හැකිවේ. තැපැල් දෙපාර්තමේන්තුවද E Commerce කටයුතු වලට ඉක්මනින් යොමු නොවුනොත් එම කටයුතු වල වාසිය පෞද්ගලික අංශය වෙත ගලායනු ඇත, තැපැල් දෙපාර්තමේන්තුව සතු දිවයින පුරා විහිදී ඇති ශාඛා ජාලය මෙම ව්‍යාපාර කටයුතු සාර්ථක කරගැනීමට පිටිවහලක් කර ගැනීමට දෙපාර්තමේන්තු බලධාරීන් ඉදිරි දැක්මක් සහිත රාජ්‍ය බැංකු සමඟ අත්වැල් බැදගනිමින් කටයුතු සැළසුම් කල යුතුව ඇත. කොළඹ නගරයේ මෙවන් බහාලුම් හුවමාරු මධ්‍යස්ථාන E Commerce සේවා පහසුකම් සපයන්නන්ට අත්‍යාවශ්‍ය වේ.
අලුතින් ඉදිවෙන Colombo Port City අවට ඇති මෙම ගොඩනැඟිලි වල ආර්ථික වටිනාකම සහ අනාගතයේදී මෙම ව්‍යාපාර ස්ථානවල උපයෝගීතාවන් හොදින් අවබෝධ කරගෙන ඇති උදවිය සෙලෙන්දිවා සමාගමට කෙළ හලන්නේ ඒ නිසා බව ජාති හිතෛෂී සියළුම දෙනා අවබෝධ කරනු වස් මෙම කරුනු ටික සටහන් කර තබමි. ඉහත සඳහන් ගොඩනැඟිලි E Commerce කටයුතු වලට යොදාගතයුතු වන්නේ ශ්‍රී ලාංකේය වෙළදපල පමණක් ඉලක්ක කරගනිමින් නොව මුළු දකුණු ආසියා වෙළද පල හරිහැටි අවබෝධ කරගනිමිනි. කොළඹ වරාය වැදගත් උපායමාර්ගික වෙළද මධ්‍යස්ථානයක් කරගනිමින් ජාත්‍යන්තර වෙළදාමේ ප්‍රථිලාභ මතු පරම්පරාවට උරුමකර දිය හැක්කේ දූර දර්ශීව කටයුතු කලොත් පමණි.
ලිපිය අවසන් කිරීමට පෙර තව එක් කරුණක් පාඨකයින්ට මතක් කර දිය යුතුව ඇත. එය නම් කොළඹ නගරයේ සහ සෙසු නගර වල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයින් ගොඩනැඟිලි සංකීර්ණ ඉදිකර ඇත්තේ අපේ මුතුන් මිත්තන්ගේ ලේ, දහඩිය, කඳුළු මත රැස් කරගත් බඳු මුදලින් මිස ජෝර්ජ් රජතුමාගේ හෝ වික්ටෝරියා මහරැජිනගේ භාණ්ඩාගාරයෙන් ගෙනා රණ් කාසිවලින් නොවන බවය.
මෙම අභියෝගන් මැනවින් අවබෝද කරගනිමින් ජාති හිතෛයිෂී වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන රජය විසින් ඉදිරිපත් කර ඇති අදූර් දර්ශී ක්‍රියා මාර්ග පරාජය කරමින්, නව තාක්ෂණය ගෙන එන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් එහි ප්‍රථිලාභ සමස්ත ආර්ථිකයේ වර්ධනයට යොදාගත හැකි විකල්ප වැඩ පිලිවෙලක් හඳුන්වා දීමට අවශ්‍ය සමාජ කථිකාවන් ඇති කර ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් නිවැරදි මගට යොමු කල යුතු කාලය උද්ගතව ඇති බවට තේරුම් ගෙන බුද්ධිමත්ව කටයුතු කලයුතුව ඇත.
ජයශ්‍රී ප්‍රියලාල්
ජූනි මස 20, 2021