COVID 19 හෙවත් කොරෝනා වයිරස් ව්‍යාප්තිය පාලනය කිරීම උදෙසා රජය ගනු ලැබූ තීන්දු තීරණ අනුව රටේ බොහෝ කටයුතු අඩපණ වීම දැකගත හැකි විය. මහජනතාවගේ ආරක්ෂාව උදෙසා ගනු ලැබූ එම පියවර ලෝකයේ බොහෝ රටවල් අනුගමනය කළ ක්‍රියා පිලිවෙත වන අතර ඒ හේතුවෙන් එම රටවල මෙන්ම අපේ රටේද ආර්ථිකයේ දරුණු බිඳවැටීම් දැකගත හැකි වේ.
බිඳවැටුනු ආර්ථිකය ගෙඩනගමින් රට යථා තත්වයට පත්කිරීමේ අවශ්‍යතාවය සියලූදෙනාම එකඟවන තත්වයකි. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහය බැංකු පද්ධතිය හරහා විය යුතුය යන්නද බැහැර කළ යුතු නොවේ. පසුගිය මාස කිහිපය පුරා බැංකුවලද ආදායම් මාර්ග සියල්ල දැඩි ලෙස අඩපණ වී ඇති අතර ඒවා සියල්ල කළමනාකරණය කරමින් බැංකු ආයතන පවත්වාගෙන යා යුතු වේ.
බැංකු යනු මුදල් ව්‍යාපාර කටයුතු කරන ආයතන බැවින් මූල්‍ය නීතිරීති හා රෙගුලාසි ප්‍රකාරව කටයුතු කිරිමට බැඳී සිටින ආයතන වේ. රජයේ කටයුතු පවත්වාගෙන යාමට රාජ්‍ය බැංකු කටයුතු කළද බැංකුවල ඇත්තේ රජයේ මුදල් නොවේ. ගනුදෙනුකරුවන් විසින් තැන්පත් කර ඇති මුදල් සඳහා බැංකු මුළුමනින්ම වගකිව යුතු අතර ගනුනෙුකරුවන්ගේ මුදල් භාවිතා කිරීමේදී රටේ පවතින නීතිරීති හා මහ බැංකුවේ නියාමනයන්ට අදාළව හා අනුකූළව කටයුතු කළ යුතුවේ.
එමෙන්ම රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු, තීරණ ගැනීමකට බැංකුවලට හැකියාව නොමැති අතර, රාජ්‍ය බැංකු මුදල් අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයන්ට යටත්ව කටයුතු කළ යුතුවේ. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී මූල්‍ය අතරමැදි කාර්යය පමණක් බැංකු ඉටු කරනු ලබන අතර ඒ බව සියලූ පාර්ශවයන් අවබෝධ කරගත යුතුවේ.
රජය, මුදල් අමාත්‍යංශය, භාණ්ඩාගාරය හා ශ්‍රී ලංකා මහ බැංකුව මෙන්ම බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය විසින් ගත යුතු තීන්දු තීරණ ගමේ, නගරයේ බැංකු ශාඛාවක සේවය කරන නිලධාරින්ට ගත නොහැකි බව අවධාරණය කළ යුතුව ඇත.
එමෙන්ම රටේ ආර්ථිකය යලි නඟා සිටුවීමට රජය ලබාදෙන ආර්ථික සහන නියමිත පරිදි ලැබිය යුතු පිරිස් වෙත පමණක් ලබාදීමේ කටයුත්ත බැංකු විසින් සිදුකළ යුතුවේ. පසුගිය දිනවල දේශපාලන අධිකාරීන් විසින් බැංකුවල ඉහළ නිලධාරීන් බරපතල ආකාරයෙන් විවේචනය කරන අයුරු මාධ්‍ය විසින් ඉතා පුළුල් ආවරණයක් ලබාදී තිබූ අතර එම තත්වය හේතුවෙන් ඈත ගම් දනව්වල ශාඛාවන්වල සේවකයින්ට විවිධ තර්ජන, ගර්ජනවලට මුහුණ දීමට සිදුවී ඇති බව වාර්තා වීම ඉතා කනගාටුදායකය.
පසුගිය දා ලංකා බැංකුවේ ගෝල්ඞ් සෙන්ටර් ශාඛාවේ ඉදිරිපෙල නිලධාරියෙකුට නිල ඇඳුමින් සැරසුන කාන්තාවක් පහර දී ඇති අතර 2020.06.18 දින ලංකා බැංකුව වාද්දුව ශාඛාවේ ණය නිලධාරිනියට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකර ඇත. එමෙන්ම බොහෝ ශාඛාවල කළමනාකරුවන් ඇතුලූ සේවකයින්ට විවිධ තර්ජන කිරීම් නිරතුරුවම සිදුවන බවට සංගමයට තොරතුරු වාර්තා වී ඇත.
කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා රජය විසින් පසුගිය මාස කිහිපයේදී දිවයිනපුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කරන ලදී. රටේ බොහෝ කාර්යාල වසා තිබූ එම වකවානුවේදී බැංකු අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන පසුබිමක පවා ශාඛාවන් විවෘත කරමින් සේවය ලබාදෙන ලදී.
වෛරස් තර්ජනය පිළිබඳව අවදානමද නොසළකමින් රටේ බොහෝ ආයතන වසා තිබියදී පවා කරන ලද සේවාව කිසිවෙකුගේ අවධනයට ලක්නොවීම කණගාටුදායක තත්වයකි. කිසිවකුගේ ගරු බුහුමන් උදෙසා බැංකු ප්‍රජාව කටයුතු නොකරනවා වුවද එලෙස කැපකිරීම් කරමින් කටයුතු කරමින් සිටින බැංකු සේවකයින් වෙත ඇතැම් පාර්ශව හා පුද්ගලයින් ඔවුන්ගේ පටු, පුද්ගලික හා නීත්‍යානුකූල නොවන ඉල්ලීම් ඉදිරිපත් කරමින් සිදුකරනු ලබන තර්ජන හා ගර්ජන වහ වහාම නතර කරවීමට සියලූ බලධාරීන් කඩිනමින් පියවර ගතයුතුය. මේ ආකාරයට ආයතන තුළට කඩාපනිමින් සේවකයින්ට පහරදීම් වැනි කටයුතු නීතිය රජයන රටක සිදුවිය නොහැකි බව සංගමය ඉතා දැඩිව අවධාරණය කර සිටී.
එමෙන්ම 2020 පෙබරවාරි මාසයේදී මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු වන ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරීවරුන් ආණ්ඩුව විසින් තනතුරුවලින් පහ කරන ලද අතර, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකුවල එම තනතුරුවල පුරප්පාඩු නිසි ලෙස සම්පූර්ණ කිරීමට අපොහොසත් වී ඇත. රටේ ප්‍රධානතම රාජ්‍ය බැංකු 4 ප්‍රධාන විධායක නිලධාරී තනතුරු අකර්මන්‍ය වී ඇති අතර ඒ හේතුවෙන් බැංකුවල පරිපාලනය බිඳ වැටී ඇත.
මෙම සියලූ තත්වයන්වලට රටපුරා ශාඛාවල සේවය කරන සේවකයින්ට වන්දි ගෙවීමට සිදුවීම අවාසනාවකි. විවිධ පුද්ගලයින්ගේ තර්ජන, ගර්ජන හා බිය වැද්දීම් මෙන්ම අඩම්තේට්ටම් තවදුරටත් සිදුවන්නේ නම් සංගමයට ශාඛාවල සේවයේ නියුතු සාමාජිකත්වය සේවයෙන් ඉවත්කර ගැනීමට කටයුතු කිරිම වැනි දැඩි පියවරයක් කරා යාමට සිදුවනු ඇත. මේ බව රටේ සමස්ත ජනතාව වෙත මෙන්ම සියලූ වගකිව යුතු පාර්ශව වෙතද තරයේ අවධාරණය කර සිටිමු.